Friday, December 30, 2011

මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි..

කම්පියුටරේ ළඟ,
ජීනියස්ගේ කාමරේ,
කුරුණෑගල,
ශ්‍රී ලංකාව
30/12/2011


මේ බ්ලොගිය බලන මගේ මිතුරු මිතුරියෝ සැමටම,


අද 2011 අවුරුද්දේ දෙසැම්බර් 30 හෙටින් මේ අවුරුද්දත් ඉවරයි.. මේ දවස් වල මාර විදියට බිසී. අලුත් අවුරුද්ද නිසා නම් නෙමේ, අලුත් අවුරුද්දට රට දාල යන නිසා.  ඔන්න ඉතින් බිසී නිසාම මේ පොස්ට් එක බොහොම කෙටි කරනවා. කෙටියෙන් හරි පොස්ට් එකක් දාන්න කල්පනා කලේ මේ ජනවාරි පළවෙනිදා ලංකාවෙන් පිටවුණාට පස්සේ අයි මේ බ්ලොගිය පැත්තේ කවදා එන්න වෙයිද කියල මං වත් දන්නේ නෑ. ඉතින් ඒ නිසා මට යුතුකමක් තියනවා මේ බ්ලොග් එක බලන මගේ මගේ යහළු යෙහෙළියන්ට නිල වශයෙන් මේ දේවල් කියල යන්න.


මං පළවෙනිද රෑට ඩුබායි බලා ගුවන් ගතවෙනවා. ගොඩක් දුකයි ලංකාව දාල යන්න.. ඒත් ඉතින් ජීවිතේ හැටි මෙහෙම තමා කියල හිතාගන හිතේ ලොකු දුකකුත් තියාගන ගමනට ලැස්ති වෙනවා. මං ජංජාලෙට සම්බන්ද වෙන්න මාර්ගයක් හදාගත්ත ගමන් මේ පැත්තට එනවා. එතකල් ජීනි මේ බ්ලොගිය බලාගනියි. ඉතින් එහෙනම් කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මං ප්‍රර්ථනා කරනවා.. ඔයාල ඔක්කොටම බුදු සරණයි..


මීට ජීනියස් (සමීර චතුරංග ප්‍රනාන්දු)


මා ඉතින් යන්න යනවා..
මට යන්න අවසරයි..
මට අරං යන්න ඇත්තේ..
මේ මතකය විතරයිනේ..



Wednesday, December 28, 2011

බ්ලොග් අවකාශයට ජීනිගේ ආගමනය

ඔන්න ඉතින් හා හා පුරා කියල මාත් මේ ලඟදිනේ බ්ලොග් කෙටිල්ල ඉස්ටාට් කොලේ.. පටන් ගත්තට මොකෝ, තව ටික දවසකින් ඩුබායි වලට ගියාම මේ කොටන්න එකෙක් නැතුව යයි ටික දවසක් යනකල්.. මොකද මට කියල ලැපක් එහෙම මට නෑ. ඉතින් රට රාජ්ජ වල ගොහිල්ල කියක් හරි හොයාගන ලැපක්, නෙට් කනෙක්ෂන් අරන් බ්ලොගිය කොටන්න පටන් ගද්දි තව කොච්චර කාලයක් යයිද දන් නෑ...


ඉතින් මේ ජීනියස්ගේ බ්ලොගිය පාලුවට යන්න දෙන්නත් බෑනේ ඒ නිසා මං මගේ ජීනිවත් මේ බ්ලොගියේ ඇඩ්ඩින් කෙනෙක් කොලා.. ඉතින් මං නැති වෙලාවට බ්ලොගිය බලාගැනීමේ වැඩකටයුතු ජීනි කරයි.

Tuesday, December 27, 2011

ලංකාවේ පස් චිත්‍ර දැකල තියනවද?

ඔන්න ඉතින් මට පොස්ට් එකක් දාන්න කතාවකුත් නැතුව ඉන්නකොට අපේ තාත්තා කිව ඩුබායි එනකොට එයාගේ යාලුවෙකුට දෙන්න හොඳ ආර්ට් එකක් අරගන එන්න කියල. අපේ රටේ සංස්කෘතිය පේන කලාත්මක වටිනාකමක් තියන චිත්‍රයක් අරන් එන්න කිව. මුළු කුරුණෑගලම හෙවුවත් එහෙම ඒවා මේහේ නැති නිසා මං ගියා නුවර ඒවා හොයන්න. මගේ නුවර ඉන්න යාලුවෙකුත් කිව කැන්ඩි සිටි සෙන්ටර් එකේ ස්ප්ලෑෂ් කියල ප්‍රදර්ශනයක් තියනවා ඒකෙන උඹට ඕන දේවල් හොයාගන්න පුළුවන් වෙයි කියල. මාත් ඉතින් ටිකක් දවල් වෙලා ගියා නුවර පැත්තේ මගේ දඬුමොනරෙන්ම. මගේ යානාවේ තනියම ගුවන් ගතවෙන්න පාලු නිසා කෝ-පයිලට් විදියට මගේ ජීනිවත් එක්කගන තමා ගියේ.. දවල් වෙනකල්ම හිටියෙත් ජීනිගේ එක්සෑම් එකක් තිබ්බ ඒක ඉවර වෙනකල්.


කොහොම හරි ඉතින් අපි දෙන්න සිටි සෙන්ටරේ උඩම තට්ටුවට ගිහින් එතනින් රුපියල් 30 ටිකට් දෙකකුත් අරගන ඔය ස්ප්ලෑෂ් එකට ගියා.. මුළු තට්ටුව පුරාම ඇඳුම් කඩ, කෑම කඩ, අර කඩ මේ කඩ අස්සෙන් අපි ඔය ආර්ට් තියන තැන් හොයාගන සැරිසැරුවා. බතික් නිර්මාණ, ලස්සන දර්ශන අඩංගු පින්තුර (ෆොටෝ) තියන ස්ටෝල් පහුකරගන පහුකරගන යද්දී මේ නිර්මානේ දැකල මං නැවතුනා




මේක අඩි 4 ක් විතර දිග 3 ක් විතර පළල චිත්‍රයක්. මං මේකේ ගාන ඇහුවම ඒ අක්ක කිව වැඩිය නෑ රුපියල් 25,000 යි කියල. කකුල් දෙක සීතල වෙලා යද්දී මං එයාගෙන් ඇහුව ඇයි මෙච්චර ගණන් කියල. එතකොට තමා එය කිවේ මේ හැම චිත්‍රයක්ම ඇඳලා තියෙන්නේ පස් වලින් කියල..


Friday, December 23, 2011

ළයේ කඳුළු



ගෙවෙන්නත් ලඟයි පස් වසක්
අපටත් නොදැනී, මේ සෙනේ බැඳුමට
අමිහිරි මිහිරි මතකයන් කැටිකොට
මුහුණ දුන්නෙමු අප එකෙකු විලසට

කෙසේ පවසන්නද ඔබ හට
මා දුරක යන වග
උනයි උණු කඳුළු කැට 
මා දෙනෙත් අගට


අප මැවූ ඒ පැතුම් පොකුරු
ඉටු කරන අටියෙන්
පියාඹන්නෙමි දුරු රටකට
වෙන වී ඔබ සුවඳ රැඳී මානෙන්

Thursday, December 22, 2011

මෙහෙම බොමුද මචං?



ඔන්න ඉතින් අද මං කියන්න කල්පනාකලේ ඊයේ රෑ මං සහභාගී වුන පාටියකදී මං අත්විඳපු අත්දැකීමක් ගැන.. මං ප්‍රතිපත්තියක් විදියට මත්වතුර, මත්ද්‍රවය, දුම්පානය නොකරන කෙනෙක්. ඕකට ඉතින් අනං මනං කියන අය ඕන තරම් ඉන්නවා ඒත් ඉතින් මේ මමනේ ඉතින් මේ මගේ හැටි.. ඒත් අපි හැසිරෙන සමාජේ හැමෝම එහෙම නෑනේ. සමහරු බොනවා ඒත් තමුන්ගේ ප්‍රමානේ දැනගන බොහොම ඩීසන් විදියට. සමහරු බොනවා තමුන්ගේ ප්‍රමානෙ නොදැන. එහෙනම් ඉතින් අපි කතාව පටන්ගමුකෝ..


අපේ ගෙවල් ළඟ මගේ හොඳ මිත්තරයෙක්ගේ නංගි කෙනෙක් ජම්බු ගහක නගින්න ගිහින් බිමට වැටිලා ඒ සංතෝසෙට ගෙදර කස්ටිය එයාලගේ නෑදෑ ජනතාවටයි, අසල්වාසියෝ වුන අපිටයි, පොඩි පාටියක් දුන්න (පොඩි කීවට පොඩිමත් නෑ..) කොහොමින් කොහොම හරි ඊයේ රෑ අපි ඔය පාටියට ගියා. මාත් ඉතින් අපේ ගමේ මිත්තරයෝ ටිකත් එක්ක ටිකක් වැදගත් විදියට ඇඳලා එහෙම ඔය පාටිය පැත්තට ගියා. හප්පේ.. බලන්න එපැයි අසිරිය.. ටු පීස්‌ බෑන්ඩ් එකක් ඇවිත් බජවු දානවා, කේටරින් එකකින් කෑම දෙනවා, ඒ වගේම තිතට මතත් තියනවා. හැබැයි ඉතින් තිබුනේ "ගල්" ඉතින් මගේ මිත්තරයන්ට ඕව හරියන්නේ නෑලු. ඒ නිසා අනුන්ගේ පාටිය ඇවිත් අපේ කට්ටිය අතින්ම වියදම් කරලා මොකක්ද විස්කි බෝතලෙකුයි, කොකා කෝලයි ගෙනාව. කස්ටිය බීවට මොකද ගමේ නොන්ඩි වෙන්න කැමති නෑ (එකෙක් හැර). ඒ නිසා පාටිය තියන ගෙදරට එහාපැත්තෙ ගෙදර මිදුලේ කළුවර තැනක සෙට් වුනා. ඒත් අර ගමේ නොන්ඩි වුනත් ගානක් නැති එකා උට බොන්න පරක්කු වෙන්න බෑ කියල මේ බෝතලේ ගේන්න කලින්ම ගිහින් අංකල්ලා බොන තැනකට සෙට් වෙලා හිටියේ .

Tuesday, December 20, 2011

කැරවන් වංශකතාව




නිසාන් වාහන ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. නිසාන් කියන වෙළඳ නාමය සමග ලංකාවේ අපට බොහොම හුරුපුරුදු නිතර දෙවේලේ මහපාරේ දකින්න පුළුවන් වාහනයක් තමා නිසාන් කැරවන් වෑන් එක.. මේ වර්ගයේ වෑන් එකක නොගිය කෙනෙක් ලංකාවේ නැති තරම්.. මං පුද්ගලිකව බොහොම ආසකරන වාහනයක් තමා කැරවන් එක. ඒ නිසා මං කල්පනා කළා මේ කැරවන් එකේ ඉතිහාසේ ටිකක් අපේ කට්ටිය එක්ක බෙදාහදාගන්න.


අපි පුරුද්දට මේකට කැරවන් කීවට මේක අර්වන්, හෝමි, කිංග් වෑන් ආදී නම් කීපයකින් වෙළඳ පොලට නිකුත් කරලා තියනවා. ඒ වගේම මේකට ලබාදුන්න පහසුකම් හා අංගෝපාංග අනුව DX, GL, GLL, Super GL, VX, VXX, etc ආදී ග්‍රේඩ් වලින් වෙළඳ පොලට නිකුත් කළා.


ඉස්සල්ලම මේ කැරවන් නිෂ්පාදනය පටන් අරන් තියෙන්නේ 1973 එදා ඉඳල අද වෙනකල්ම කැරවන් නිෂ්පාදනය කරනවා. ඔන්න එහෙනම් ඉතිහාසේ මුල ඉඳල කියවන්නකෝ..

Sunday, December 18, 2011

හැප්පුන ඔටුවා

දිගටම ආතල් කතා කියපු නිසා මං අද කල්පනා කළා අමුතු කතාවක් ලියන්න. මේකත් මීට කලින් අන්තිම පේලියේත්, එලකිරියේත් මං ලියල දාපු කතාවක්. මං හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙමේ. අපේ තාත්තත් එහෙමයි.. ඒකනේ මං අර මුලින්ම දාපු "කනත්තේ හොල්මන" කතාවේ අපේ තාත්තා හොල්මනට හොම්බට 60 ක් ඇන්නේ.. මේ කතාවත් අපේ තාත්තා ඇත්තටම මුහුණදීපු සිද්දියක්.


අපේ තාත්තා දැන් අවුරුදු 18 කට කලින් (1993) හිටියේ සෞදියේ. ලොකු කන්ටේනර් රියදුරෙක් විදියට.. එයාලට ලෝඩ් එකෙක් හම්බුනාම ඒවා ගෙනියන්න තියෙන්නේ කිලෝ මීටර් 2000, 3000 වගේ දුරවල් වලටලු. ඉතින් මෙහෙම වාහනේ අරන් සති ගණන් එක දිගට යනවලු. යන්නෙත් තනියම. වාහනේ ඇතුලේ ඇඳක්, ෆ්‍රිජ් එකක්, ගෑස් ලිපක්, කෑමට ඕන දේවල් තියනවලු. සමහර දවස් වලට කාන්තාර මැදින් යනකොට මිනිස් පුළුටක් දකින්න නෑලු.. විටින් විට මගදී හම්බෙන වාහන ඇරෙන්න. ඒ පාරවල් වල වාහන හම්බෙන්නෙත් දවසට පහක් දහයකටත් වඩා අඩුවෙන්ලු..


දවසක් මෙහෙම යනකොට හවස 7 ට විතර ඇතිලු, කළුවර වැටීගෙන එනවලු කිලෝ මීටර් 8 ක විතර කන්දක් නග්ගගෙන එනවලු ඒ කන්ද ඉවර උනාම හම්බෙන්නේ කාන්තරයක්ලු. ඉතින් මේ විදියට කන්ද නැගල කාන්තාරෙට එනකොටම ඔටුවෙක්‌ පාර හරහා අසුරුසැනින් පැන්නලු. තාත්ත හිතුවේ ඌ හැප්පුනා කියලලු තාත්ත වාහනේ නවත්තල බැහැල බැලුවාලු ඔටුවෙක්‌ නෑලු, වාහනේ යට, දෙපැත්තේ තියන කාන්තාරේ ටෝර්ච් ගහල බැලුවාලු. එත නැති නිසා උ බේරෙන්න ඇති කියල හිතාගන ආයි ගමන පටන් ගත්තලු.




එදා රෑ වාහනේ පාර්ක්‌ කරන තැනට ගියාම තව කට්ටිය හම්බෙනවනෙ, ඉතින් එහෙම ඒ අය එක්ක කතා කරනකොට ඇහුවලු මොන පාරෙන්ද අවේ කියල, තාත්ත ආපු පාර කිවලු එයාල ඇහුවලු අර විදියට කන්ද නැග්ගම ඔටුවෙක්‌ පැන්නේ නැද්ද කියල. තාත්ත කිවලු පැන්න, හැප්පුනා වගේ දැක්කේ, බැහැල බැලුව හිටියේ නෑ කියල. එතකොට කිවලු ඒ අය, මේ ගැන දන්නා අය ඒ පාරෙන් එන්නෙ නෑ. එතන තියෙන්නේ ඔටු අවතාරයක් කියල


අපේ තාත්ත හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි, එත අදටත් කියන්නේ එදා ඔටුවා පනිනවා නම් හොදටම දැක්ක කියල..


බලපු කස්ටිය අදහසකුත් දීලම ගියානම් හිතටත් සතුටුයි ඉතිං...

නම ගිය මරණ රැසක්‌ කර ගැසූ "මිනී නොකන" මිනිසා


අද උදේ සුදේශ් කරුණාතිලක අයියා ෆේස්බුක් එකේ දාල තිබුන ලිපියක් මගේ බ්ලොගියේ දාන්න හිතුන ඒ ලිපියේ තියන වටිනාකම නිසා. කියවල බලන්නකෝ. සුදේශ් අයියා මේක කොහෙන්ගත්තද දන්නේ නෑ. නමුත් සටහන අග තරංග රත්නවීරගෙ නම තිබුන


සල්ලි දෙවියන්ගේ මල්ලි යෑයි කීවේ අතීතයේදීය. වර්තමාන සමාජය තුළ සල්ලි දෙවියන්ගේ මහප්පා වී සිටී. අද පවතින්නේ ධනය, පදවිය, බලය උදෙසා උමතු වූ සමාජයකි. එකිනෙකා ඇනකොටා ගනී. අවුල් වියවුල් ඇති කර ගනී. තාවකාලික සැප වෙනුවෙන් මුළු අනාගතයම බිලි දෙයි. එවැනි වල්මත් වූ නිසරු සමාජයක "මුදල" ජීවිතය නොකරගත් මිනිසුන් ද නැතුවාම නොවේ. එවැනි අපූරු මිනිසකු පසුගිය දිනක අපට හමුවූයේ බොරැල්ල කනත්ත අසලදීය. ඒ ඔහු කොළඹ පොලිස්‌ මෘත ශරීරාගාරයේ හඳුනානොගත් මළ සිරුරු මිහිදන් කිරීමට මළ සිරුරු කිහිපයක්‌ රැගෙන ආ අවස්‌ථාවකදීය.

1978 වර්ෂයේ සිට මේ දක්‌වා කාලය පුරාවට කොළඹ පොලිස්‌ මතෘ ශරීරාගාරයේ හඳුනානොගත් මළසිරුරු මිහිදන් කිරීමේ කොන්ත්‍රාත්කරු ඔහුය. පොලිස්‌ මෘත ශරීරාගාරයේ මෙන්ම බොරැල්ල කනත්තේ ඔහු හඳුන්වන්නේ ලංකා පෙරේරා යනුවෙනි. එහෙත් ඔහු පදිංචිව සිටින මහරගම ප්‍රදේශයේ මිනිසුන් ඔහු හඳුන්වන්නේ උපුල් අයියා කියා ය.

දවස ආරම්භයත් සමග පටන් ගත් චුරු චුරු වැස්‌ස තවමත් ඇද හැළෙමින් තිබේ. හිරු අඩ නින්දේය. එහෙත් කාලය නම් වේගයෙන් ගලා යයි. මේ අපූරු මිනිසා ඔහුගේ අතීත මතකය අප ඉදිරියේ මෙසේ ආවර්ජනය කළේය.

රජ පඩ වල සැර



මේක මං ජංජාලේ දැක්ක සීන් එකක්. ෆොටෝ බැලුවම කස්ටියට තේරෙයි වැඩේ මොකක්ද කියල. කෝකටත් එතන තිබුන හැඳින්වීම මං පහලින් දැම්මා. (පින්තුරේ පොඩ්ඩක් ලොකුයි සයිස් වෙනස් නොකළේ පැහැදිලි මදි වෙන නිසා)


The Royal Fart


It would seem that someone within the ranks of the Royal Family passed wind whilst on the balcony,
much to the amusement of all. Notice HM the Queen's face in the first two photos, then look at her
final expression. How guilty does HRH the Duke of Edinburgh look for creating the Royal Fart?









උපුටා ගත්තේ උපුටා ගත්තේ මෙතනින්

සීත සමීරගේ බ්ලොගියේත් මේක තියනවා දැන් දැක්කේ. මෙන්න ඒ ලින්ක් එක

Saturday, December 17, 2011

කනත්තේ හොල්මන

මේක මීට අවුරුදු 35 කට විතර කලින් අපේ තාත්තට වුන සිද්දියක්.. මං මේ කතාවත් ලාස්ට් රෝ එකට කලින් ලියල තියනවා මේකත් කියවල කොමෙන්ටුවක් එහෙම දීල යමු

අපේ තාත්තගේ ගම මාරවිල. අපේ තාත්තා කොල්ලා කාලේ ඒ කියන්නේ අවුරුදු 18 – 20 විතර කාලේ තාත්තලගේ සෙට් එකේ කොල්ලෙක්ගේ ආච්චි නැති වුනාලු.. යාලුවත් ඉතින් යමක් කමක් තියන යාලුවෙක්ලු ඒ නිසා මලගෙදරත් මගුල් ගෙදර වගේම තිබ්බලු මේ දවස් ටිකේම තාත්තගේ යාළුවො සෙට් එකම එහෙ පදිංචි වෙලාලු හිටියේ.. කොහොමින් කොහොම හරි මේ සිද්දිය වෙලා තියෙන්නේ මල ගෙදර වෙලා දෙවැනි දවසේ රෑ..

මුළු දවසම කස්ටිය ඔක්කොම කැරකි කැරකි හිටියට හරි හමන් විදියට බඩ පිරෙන්න කාල නෑ කොහොම හරි ඔය මළගෙවල් වලටම විශේෂ වෙච්ච සෙල්ලම් එහෙම කර කර රෑ 12 විතර වෙනකොට කට්ටියට හොඳටම බඩගිනියිලු.. කස්ටිය කතා වුනාලු මාරවිල ටවුමට ගිහින් මොනවා හරි කාල පොඩි දුමක් එහෙම දාල එමු කියල.. ඔහොම කතා වෙන අතර දුර පළාතක ඉඳල කට්ටියක් ලොරි බාගෙක මළගෙදර ඇවිල්ල ආපහු යන්න ලෑස්ති වෙලා හිටියලු. මාරවිලට යන්නත් කිලෝමීටර 5 විතර තියන නිසා කට්ටිය පුළුපුළුවන් විදියට අර ලොරි බාගෙට නග්ග ගත්තලු කොහොම හරි කටකපල එල්ලුනම එක්කෙනෙකුට නගින්න විදියක් නෑලු



එයාට කිවලු තාත්තගේ යාළුවා අලුතින්ම ගත්ත රැලේ බයිසිකලේ තියනවා ඒකෙ එන්න කියල. (ඔය උඩ පින්තුරේ තියනවා වගේ බයිසිකලයක් :දිවදොට්ට) මොකද ඒ කාලේ ඕව පදින්න සෙට් එකම මාර ආසයිලු. ඒත් අරය බෑ කිවලු පස්සේ ඉතින් අපේ තාත්තා වීරයා වගේ කිවලු

“එහෙනම් උඹ නැගපන් ලොරියට මං එන්නම් බයිසිකලේ” කියල



බිස්කට් බෙදිල්ල






ඔන්න ඉතිං මගේ බ්ලොගියේ කස්ටියට බලන්න සුට්ටන් කතාවක් දානවා.. මේ කතාව මීට කලින් මං ලාස්ට් රෝ එකට ලියපු කතාවක්. කියවල බලන්නකෝ මගේ සුන්දර ඉස්කෝලේ කාලේ ගැන

මං ඉන්නේ කුරුණෑගල, ඉස්කෝලේ ගියේ මලියදේවේට. අපි උසස් පෙළ කරන කාලේ මං ළඟ තිබ්බ සුපිරි ෆෝන් කට්ටක්.. ඕක ළඟ නැති උනාම ඉතින් අතක් පයක් නැති වුනා වගේ තමා.. කොහොමින් කොහොම හරි ඔය ෆෝන් එකේ පොඩි ජන්ගිලි බිරිස් එකක් වෙලා මං දුන්න හදන්න… හදන්න දීල දවසකින් එන්න කිවම ගියා හදල තිබ්බේ නෑ.. (ෆෝන් හදන උන් ඔහොම්මමයි.!!) පොර කිවා මල්ලි හෙට 11 වෙනකොට එන්න දෙන්නම් කියල. 11 කියන්නේ අපිට ඉස්කෝලේ ඉන්ටර්වල් වෙලාව කොහොම හරි ඉන්ටර්වල් එකට ගෙනාපු කෑම එක සුපුරුදු පරිදි උදේ පාන්දරම ඉවර කරලා 11 ට ෆෝන් එක ගේන්න යන්න මගේ යාළුවො දෙන්නෙක් වෙච්ච ජයයි, ඩැපායිත් සෙට් කරගන හිටියේ..

ඉස්කෝලේ වෙලාවේ අපිට පිටට යන්න තහනම් නිසා අපි පාවිච්චි කලේ නිල නොවන මාර්ගයක්, ඒතමා ඉස්කෝලේ හොස්ටල් එක තියෙන්නේ ඉස්කෝල වත්තේ කෙළවරක්.. එතන ගේට්ටුවක් තියනවා සිකුරුටි අන්කල් කෙනෙකුත් ඉන්න. පොඩි උන්ට යන්න දෙන්නේ නැති වුනාට උසස් පෙළ නිසා අපිට අන්කල්ට පොඩි ශේප් එකක් දාල එලියට පැනගන්න පුළුවන් වුනා..



ජීනියස්ගේ බ්ලොගිය ගැන..

ඔන්න ඉතිං මාත් හා හා පුරා කියල බ්ලොගියක්‌ කොටන්න පටන්ගත්තා. හැමදාම බ්ලොග් අවකාශයේ සැරිසරමින් හුඟක් අයගේ බ්ලොග් කියවපු මං කල්පනාකොලා මාගේ කියලත් බ්ලොගියක්‌ පටන් ගන්න.


බ්ලොග් වල සැරිසරද්දී මං දැකපු දෙයක් තමා හුඟක් බ්ලොග් ලියන අපේ අය පිටරටවල ඉන්නේ. මං නිතරම බලන ඇන්ඩයියාගේ ඕනයා බ්ලොග් එක දුමී අයියාගේ බ්ලොග් එක ඔබා මාමගේ ඔබ්සර්වර් වගේ තව ගොඩක් ඒවා තියනවා. ඉතිං මේවා කියවද්දී හුඟක් වෙලාවට දුක සතුට මුසු වෙච්ච සටහන් ගොඩක් තියනවා. මෙච්චර කාලයක් ගෙදරට වෙලාම හිටපු මම (ඒ කිවේ ජොබ් වලට ගියෙත් ගෙදර ඉඳල) තව සති කීපයකින් ඩුබායි බලා පියාසර කරන්න ඉන්නේ ජොබ්ස් කට්ටක් කරන්න.. මගේ තාත්තත් ඉන්නේ එහෙ. 


ඒත් මේ හැමෝගෙම බ්ලොග් කියවල වගේම මගේ තාත්තා කියපු දේවලුත් අනුව මං තේරුම් ගත්ත දෙයක් තමා පිටරටක ඉද්දි තමුන්ගේ කියන අය නැතුව තමුන්ගේ ඉපදුන මහපොලොවෙන් ඈත්වෙලා ඉන්න එක මහා කටුක දෙයක්. ඉතිං මාත් ඔය කට්ට කන්න බලාගන තමා යන්න හිතාගන ඉන්නේ. ඉතිං ඔය රටවල ගිහින් නිදහසක් තියන වෙලාවක කොටන්නත් බලාපොරොත්තුවෙන් තමා මේක අද පටන් ගත්තේ. මට නිශ්චිත අදහසක් නෑ මේ බ්ලොගියේ හරියටම අහවල් දේවල් දානවා කියල. ඒ නිසා මගේ ජීවන අත්දැකීම් රස කතා, දුක හිතෙන කතා, අමුතු කතා, දැනුමට අලුත් දේවල් එකතු කරන දේවල් වලින් මේ බ්ලොගිය පෝෂණය කරන්න මං බලාපොරොත්තු වෙනවා


කොහොමත් මේ බ්ලොග් කෙටිල්ලට මං අලුත් නිසා යම් යම් අඩුපාඩු වැරදි එහෙම ඇති. ඒවා ඉතිං මේ කියවල බලන කස්ටිය මට කියල දෙනවා නම් නිහතමානිව හා ස්තුතිපුර්වකව ඒවා බාරගන්න අහගන්න මං බොහොම කැමතියි..


ඔන්න එහෙනම් නමොවිත්තියෙන් කස්ටිය එකතුවෙන්නකෝ ජීනියස්ගේ බ්ලොගියට..