Tuesday, December 27, 2011

ලංකාවේ පස් චිත්‍ර දැකල තියනවද?

ඔන්න ඉතින් මට පොස්ට් එකක් දාන්න කතාවකුත් නැතුව ඉන්නකොට අපේ තාත්තා කිව ඩුබායි එනකොට එයාගේ යාලුවෙකුට දෙන්න හොඳ ආර්ට් එකක් අරගන එන්න කියල. අපේ රටේ සංස්කෘතිය පේන කලාත්මක වටිනාකමක් තියන චිත්‍රයක් අරන් එන්න කිව. මුළු කුරුණෑගලම හෙවුවත් එහෙම ඒවා මේහේ නැති නිසා මං ගියා නුවර ඒවා හොයන්න. මගේ නුවර ඉන්න යාලුවෙකුත් කිව කැන්ඩි සිටි සෙන්ටර් එකේ ස්ප්ලෑෂ් කියල ප්‍රදර්ශනයක් තියනවා ඒකෙන උඹට ඕන දේවල් හොයාගන්න පුළුවන් වෙයි කියල. මාත් ඉතින් ටිකක් දවල් වෙලා ගියා නුවර පැත්තේ මගේ දඬුමොනරෙන්ම. මගේ යානාවේ තනියම ගුවන් ගතවෙන්න පාලු නිසා කෝ-පයිලට් විදියට මගේ ජීනිවත් එක්කගන තමා ගියේ.. දවල් වෙනකල්ම හිටියෙත් ජීනිගේ එක්සෑම් එකක් තිබ්බ ඒක ඉවර වෙනකල්.


කොහොම හරි ඉතින් අපි දෙන්න සිටි සෙන්ටරේ උඩම තට්ටුවට ගිහින් එතනින් රුපියල් 30 ටිකට් දෙකකුත් අරගන ඔය ස්ප්ලෑෂ් එකට ගියා.. මුළු තට්ටුව පුරාම ඇඳුම් කඩ, කෑම කඩ, අර කඩ මේ කඩ අස්සෙන් අපි ඔය ආර්ට් තියන තැන් හොයාගන සැරිසැරුවා. බතික් නිර්මාණ, ලස්සන දර්ශන අඩංගු පින්තුර (ෆොටෝ) තියන ස්ටෝල් පහුකරගන පහුකරගන යද්දී මේ නිර්මානේ දැකල මං නැවතුනා




මේක අඩි 4 ක් විතර දිග 3 ක් විතර පළල චිත්‍රයක්. මං මේකේ ගාන ඇහුවම ඒ අක්ක කිව වැඩිය නෑ රුපියල් 25,000 යි කියල. කකුල් දෙක සීතල වෙලා යද්දී මං එයාගෙන් ඇහුව ඇයි මෙච්චර ගණන් කියල. එතකොට තමා එය කිවේ මේ හැම චිත්‍රයක්ම ඇඳලා තියෙන්නේ පස් වලින් කියල..




එහෙම ඇහුවට පස්සේ ඒක මං අහපු අලුත් දෙයක් නිසා වැඩිදුර විස්තර අපි එයාගෙන් ඇහුව. එයාගේ හස්බන්ඩ්ලු මේ පින්තුර අඳින්නේ. එයාල ලංකාවේ විවිධ තැන් වලින් එකතු කරගන්න විවිධ පාට තියන පස් වර්ග අරන් ඇවිල්ල ඒවා පුළුවන් තරම් පෙරලා එයාලගේ ක්‍රමේකට මේ චිත්‍ර වලට අවශ්‍ය තීන්ත හදා ගන්නේ.


එයාල රතු පස් ගේන්නේ ගම්පොලින්, කහ පස් නිට්ටඹුවෙන්, දුඹුරු පස් බුලත්කොහුපිටියෙන් වගේ ලංකාවේ තව විවිධ පැති වලින් පස් ගෙනල්ල පාට හදාගන්නවලු. ඒ වගේම කළු පාට හදාගන්නේ පොල්කටු අඟුරුවලින්ලු.


ඒ මොන ආකාරයකින් මේ පාට හදාගත්තත් ඒ චිත්‍ර වල පාට ඇල්ලුවට, වතුර වැටුනට වෙනස් වෙන්නේ බොඳ වෙන්නේ නෑ. මේ ඔක්කොම අහල දැකල ඉවර වුනාට පස්සේ මට හිතුනා ඇත්තටම මේ කලා කෘති වලට අර වගේ මිලක් අසාදාරණ නෑ කියල. මං එයාල ළඟ තිබ්බ චිත්‍ර බලන අතරේ ඒක පාරටම මගේ හිත ඇදිල ගත්ත චිත්‍රයක් දිහාට ඇස් යොමු වෙද්දීම මං දැක්ක ජීනිත් ඒ දිහාම බලගන ඉන්නවා. ඒ වෙනකොට අපි දෙන්නම ඒ චිත්‍රෙ හොඳයි කියල බැලු බැල්මෙන්ම තෝරගන හිටියේ.. ඒත් ඒකෙ මිල මගේ පසුම්බියට ගැලපෙනවද කියලත් බලන්න ඕනනේ.. මොකද මං ළඟ තිබ්බේ රුපියල් 10,000 යි. අපි අර අක්කාගෙන් ඇහුව ඒ චිත්‍රෙ කීයද කියල. එයා කිව 6000 යි කියල. පස්සේ අපි ඒක 5700 කට මිල නියම කරගන අරගත්තා. මේ තියෙන්නේ ඒ චිත්‍රෙ




මෙතැනදී මං ඒ අක්කට රුපියල් 2000 කොල 3 ක් දුන්න. එයා මට රුපියල් 300 ක් දුන්න ඉතුරු වල බලන්න ලොකු දෙයක් නොතිබුන නිසා ඒ සල්ලි කොල ටික මං සාක්කුවේ දාගන, චිත්‍රෙත් අරගන ටිකක් දුර යනකොට මට මතක වුනා අර මං සාක්කුවට දාගත්ත සල්ලි අතර කොල පාට කොලයක් තිබුන කියල. ආයි මං සාක්කුවෙන් සල්ලි අරන් බලද්දී එතන රුපියල් 1300 ක් තිබුන. තමුන්ගේ මහන්සියෙන් හරි හම්බකරගන්න අපේම මිනිහෙක්ට අවැඩක් කරන්න අවශ්‍ය නැති නිසාත්, චිත්‍රෙ තියන කලාත්ම වටිනාකම කේවල් කරන්න ඕන නැති නිසාත්, අවංක මිනිස්සු විදියට මායි ජීනියි හැරෙන තැපෑලෙන් ආයි ගිහින් ඒ චිත්‍රෙ විකුනපු අක්කගේ අතට අර වැඩිපුර රුපියල් 1000 අපි ගිහින් දුන්න. ඒ අක්ක කිව


"ඔයාල වගේ මනුස්සයෝ මේ චිත්‍රෙ ගත්ත නිසා මගේ අතින් වුන අතපසුවීම වුනත්, ඔයාල මේ සල්ලි මට ගෙනත් දුන්න. වෙන කෙනෙක් නම් මෙහෙම දෙන්නේ නෑ. බොහොම ස්තුතියි"
කියල ඒ අක්ක සල්ලි ආයි ගත්ත.


ඒ සල්ලි අපි ළඟ තිබුනට වඩා සතුටක් ඒක ආයි දුන්නම අපි දෙන්නටම ලැබුන. අපි දැන දැනම ඒ සල්ලි අරගන ආව නම් මගේ දැනුමේ හැටියට ඔය සල්ලි අපිට යා දෙන්නේ නෑ. අපි රුපියල් 1000 නැවත දිල ඒ මොහොතේ ලබපු මානසික තෘප්තිය රුපියල් 1000 කට ලැබෙයි කියල මං නම් හිතන් නෑ.


පඳුර වටේ තැලුව ඇති. මං ඔය කිවේ අතුරු කතාවක්. මේ පස් කළා කෘති ගැන මං ජංජාලේ හොයද්දි මේවා ඇඳපු කෙනා ගැන ලිපියක් තිබුන 2009 ජුලි 15 ඩේලි නිවුස් පත්තරේ මෙන්න ලින්ක් එක


මේ තියෙන්නේ එතැන තිබ්බ චිත්‍ර වල මං ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ ටිකක්
















කමෙන්ටුවකුත් දාලම ගියානම් සතුටුයි ඉතින් මට..

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දැනුයි කියෙව්වෙ ජීනියස්, අප්‍රියෙල් මාසේ ලංකාවට ආවම මෙතනට යන්නම ඕනෙ කියල හිතාගත්ත. ස්තුතියි මේ විස්තරේ කිව්වට. ඔය වගේ තැන වල සමහර වෙලාවට
    එක නිර්මාණයක් වත් දවසකට විකිනෙන්නේ නැති අවස්ථා තියෙනවා. රු/= 1000 ආපහු ගිහින් දුන්න එක බෙහෙවින් අගය කරනව මම.
    [දීල තියෙන ලින්ක් එකටත් ගිහින් බලන්නම්]

    ReplyDelete
  3. @ ඔබා මාමගේ කතාව ඇත්ත.. බොහොම ස්තුතියි.. මෙයාල අඳින චිත්‍ර දඹුල්ල වගේ පති වල කඩවල් වලටත් එයාල දානවලු. ඒත් අඳින කස්ටිය ඉන්නේ කෑගල්ලේ. මං විසිටින්ග් කාඩ් එකක් ගෙනාව. ඒක ජීනි ලඟද කොහෙද..

    ReplyDelete
  4. මේ පස් චිත්‍ර වගේම විවිද පාට වැලි වර්ග වලින් හදන චිත්‍ර විකුණන තැනක් තියෙනවා mc එකේ! හරිම ලස්සනයි මේ චිත්‍ර!ඔයාගේ මනුස්සකම ඊට වඩා ලස්සනයි!

    ReplyDelete
  5. ඒවා හරි ලස්සනයි...

    ReplyDelete
  6. ‍තොප්පිය අතට අරන් ආචාර කෙරුවා!
    ඔබේ මනුස්ස කමට....
    ස්ථානය ගැන දැනුවත් කලාට තුති
    ඒක ඒ ශිල්පීන්ටත් කරපු අතදීමක්....පිං

    ReplyDelete
  7. උඩම තියන චිත්‍රෙ රුපියල් 25,000 යි කියල කිව්වහම ජීනියස්ට පොළවෙ පස් කන්න හිතුන් නැද්ද :D

    ReplyDelete
  8. @නෙලුම් බොහොම ස්තුතියි

    @ නරකයා පට්ටයි නේද...

    @වැලිමැඩියා හිස නමා නිහතමානිව ආචාරය පිලිගතිමි..

    @ චතුරංග බලන් ගියාම රත්තරං වලට වඩා පස් වටිනවනේ කියල හිතුනා.. ;)

    ReplyDelete